Tuesday, September 27, 2016

රිය අනතුරු රටට අහිමි කල ජීවිත ගණන
 අවුරුදු සමයේ ඉහළ අගයක.

(සටහන - සුරියවැව නුවන් ජයසේකර)

       පසුගිය වසරවල අවුරුදු සමයට සාපේක්ෂව ගත් විට මේ වසරේ අලුත් අවුරුදු දින කිහිපයේදි සිදු වු මාරක රිය අනතුරු  ප්‍රමාණය 17%  කින් ඉහළ ගොස් තිබේ.ඒ අනුව නැවතත් අපට ආපසු අවුරුදු දින කිහිපය කෙසේ ගෙවුනේද යන්න පිළිබදව ආපසු හැරී බැළිය යුතුව තිබේ.ඒ සිදුව ඇති මාරක රිය අනතුරු නිසාය.මාරක රිය අනතුරු 50කින් පුද්ගලයින් 53 දෙනෙක් එතනම මළහ.බරපතළ තුවාල වු සංඛ්‍යාවද සැළකියයුතු මට්ටමකින් ඉහළ ගොස් ඇති බව අසතුටෙන් වුවත් සදහන් කලයුතුමය.
වසරක් පුරා කරගෙන ආ සියළු කටයුතු එකට අත්හිටවා නැවත එකට එකම මොහොතක ඇරඹීමේ අරමුණ මිනිස් ජිවිත තුළට මනා සංයමය මුසු කිරිමක් බවයි පැරැන්නන් පවසන්නේ. අලුත් අවුරුද්දේ අරුත නම් එයය. අලුත් අවුරුද්දේ අරුත එය වුවත් සංයමය පුරුදු කල නොහැකි වු රියදුරන් නිසා සහ අවුරුද්දත් අලුත් පැටන් එකට ගෙවිමට පුරුදු වු බොහෝ පිරිසක් රිය පැදවිමේදිද සංයමය කියන කාරණය පසකට දමා ගිණි වතුර බෝතලයටම යටවි ඇති බව නම් සැබෑය.එහි ප්‍රථිපලය නම් ගෘහස්ථ අනතුරු ප්‍රමාණය අවම වී  සිදු වී ඇති  රිය අනතුරු ප්‍රමාණය මේ අලුත් අවුරුද්දේ 17% කින් ඉහළ ගොස් තිබිමයි. අනතුරු වලින් දින 10ක් තරම් කාලය තුළ 53 දෙනෙකු මිය ගොස් තවත් විශාල පිරිසක් බරපතළ තුවාල ලැබිම් මෙන්ම සදාකාලික අබ්බඝාතයන් වු පිරිසද ඉහළ ගොස් තිබීමයි.
අප්‍රේල් 10 – 17 අතර කාලය තුළ රිය අනතුරු නිසා රෝහල් ගතවී ඇති පිරිස 17% කින් වැඩි වි ඇති බවත්,මේ කාලය තුළ සිදුවු මාරක රිය අනතුරු 50 කින් පුද්ගලයින් 53 දෙනෙකු මරණයට පත්වි ඇති බවත් කොළඹ ජාතික රෝහලේ හෙදියන් පුහුණු කිරීමේ නිළධාරිණි පුෂ්පා රම්‍යානි මෙනවිය පැවසුවාය.කොළඹ ජාතික රෝහලට පමණක් රිය අනතුරු නිසාවෙන් පුද්ගලයින් 226 දෙනෙකු ඇතුලත් කර තිබෙන බවත්,පසුගිය වසරවලට සාපේක්ෂව විවිධ අනතුරු නිසා රෝහලට ඇතුලත් වු රෝගින්ගේ ප්‍රමාණය 08% කින් අඩුවක් දක්නට ඇති බවත් මෙන්ම නොවාසික ප්‍රථිකාර ලබන පිරිසෙහිද 01% අඩුවක් දක්නට ඇති මුත් පෙර වසර වලට සාපේක්ෂව සිදුව ඇති රිය අනතුරු ප්‍රමාණය 17% කින් ඉහළ ගොස් ඇති බවයි ඇය පැවසුවේ.
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලටද විවිධ අනතුරු නිසා තුවාල කරුවන් 268 දෙනෙකු ඇතුලත් කර ඇති අතර ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසිය.ඉකුත් 12 වන දින සිට 16 වන දින   වු කාලය තුළදි මෙම අනතුරු ප්‍රමාණය සිදු වි ඇති අතර ඉන් පුද්ගලයින් 121 දෙනෙකුම මාර්ග අනතුරු හේතුවෙන් රෝහලට ඇතුලත් වුවන් බවයි ඒ මහතා පැවසුවේ.අනතුරු වැඩි ප්‍රමානයක් සිදු වි ඇත්තේ බිමත් රියදුරන් නිසා බවත්,අනතුරු වලින් වැඩි ප්‍රමාණය යතුරු පැදි කරුවන් බවත් පැවසිය.පෙර වසරවලට සාපේක්ෂව මේ වසරේ දකුණේ සිදු වි ඇති රිය අනතුරු ප්‍රමාණයේ ඉහළ වැඩි විමක් දකින්ට තිබෙන බවයි දකුණේ පොලිස් ප්‍රකාශකයෙකු පැවසුවේ.බොහොමයකක් අනතුරු සිදු වි ඇත්තේ බීමත් කම නිසාවෙන් හා අධික වේගය නිසා බවයි ඔහු පැවසුවේ.
මීට දශක කීපයකට පෙර මේ මහා සංස්කෘතික මංගල්‍යය ජනයා සැමරුවේ බොහොම භක්තියෙන් හා ගෞරව සම්ප්‍රයුක්තව වුවත් වර්ථමානය වන විට කෙමෙන් කෙමෙන් පරිහානියට ලක්ව ඇත්තේ අවුරුද්දද වෙළද ග්‍රහනයට නතු වි තිබිම නිසා බවයි බොහෝ වැඩිහිටි දෙනා පැවසුවේ. එදා අවුරුදු දා තිබු සතුට වර්ථමානය වන විට විශාල පරිවර්තනයකට ලක් වි තිබේ.වෙනදා ගෙදරට එන ඥාති පිරිස් වෙත කහට කෝප්පයකින් සංග්‍රහ කල අපි අද ගෙදරට එන පිරිස් වෙත ආරාධනා කරන්නේ අඩියක් ගහන්නටය.වෙනදා ගෙදරකට ගොස් කැවුම් ගෙඩියක් කා කහට කෝප්පයක් බී ආ සතුට අද වන විට අහිමි වි ඇත්තේ අලුත් අවුරුද්දද මත් රකුසා බිලි අරගෙන ඇති නිසාවෙනි.මත් වතුර නිසා සිදුව ඇති සමාජ පරිහානිය සේම දිනපතා සිදුවෙන රිය අනතුරු සංඛ්‍යාවද කිසිදු අයුරකින් සුළු කොට තැකිය නොහැකිය.මෙනිසා අවුරුදු සැමරිම වෙනුවෙන් වසරකට වරක් විතරක් යැයි කියා කරටි කැඩෙන්නට ගිණි වතුර බී වැඩ පෙන්වන්නට රිය පදවන රියදුරන් පිළිබදව නම්  පවතින නීති රිතිද තව තවත් දැඩි කලයුතු බවයි බහුතරයකගේ මතය වුයේ.
අලුත් අවුරුද්ද එළඹීමට පෙරාතුවම පොලිසිය බිමත් රියදුරන්ට රතු එළියක්  ලබා දුන් නමුත් සිතූ තරමේ අනතුරු ප්‍රමාණය අවම කර ගැනිමට නොහැකි වි තිබෙන්නේ සතර දෙසින් වාර්තා වු රිය අනතුරු නිසාය.
අප මේ පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිතීඥ රුවන් ගුණසේකර මහතාගෙන්ද විමසිමක් කලෙමු.
විශේෂයෙන්ම මේ අවුරුදු සමයේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනිම සදහා රට පුරා පොලිස් ස්ථාන වල විශේෂ  වැටලීම් හා මෙහෙයුම් රැසක් සාර්ථකව ක්‍රියාත්මක කලා.දින 10 තුළදි පමණක් බිමත් රියදුරන් 1862 ක් අත්අඩංගුවට ගෙන ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට කටයුතු කරලා තියෙනවා.ඉන් වැඩිම පිරිසක් වුයේ යතුරු පැදි කරවන් වන අතර එය 1014කි.දෙවැනියට වැඩිම බිමත් රිය දුරන් ලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරන්ය.එය 583 දෙනෙකි.  තෙවැනියට වැඩිම බිමත් රියදුරනඅත්අඩංගුවට පත්ව ඇත්තේ මොටර් රථ රියදුරන්ය.එය 87 දෙනෙකි.අත් අඩංගුවට පත් සියළුම බිමත් රියදුරන් පොලිස් ඇප මත මුදා හැරුණු අතර 18 දිනයේ සිට ඔවුන් අධිකරණ වෙත ඉදිරිපත් කිරිමට පියවර ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසුවේ.අවුරුදු සමයේ පමණක් නොව දිනෙන් දින සිදුවෙන මෙම රිය අනතුරු බොහොමයක් බීමත් රියදුරන් නිසා සහ අපරික්ෂාකාරී රිය ධාවනය නිසා සිදු වු ඒවා බවයි වැඩිදුරටත් පැවසුවේ.තව දුරටත් බිමත් රියදුරන් සොයා විශේෂ මෙහෙයම් දියත් කිරිමට කටයුතු කරන බවත් අත්අඩංගුවට ගන්නා සියළු බිමත් රියදුරන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු කරණ බවත් මාධ්‍ය ප්‍රකාශක වරයා පැවසිය.
අලුත් අවුරුද්දේ නොසැළකිල්ල නිසා සිදු වු බරපතළ  රිය අනතුරු ප්‍රමාණය වෙනදට සාපේක්ෂව වැඩි වීය.අනතුරු නිසා  මිය ගිය පිරිස අතර කුඩා දරුවන් සේම වැඩිහිටියෝද බොහොමයකි.පසුගිය 17 වන දින අවුරුදු නෑගම් ගොස් නැවත නිවෙස බලා එමින් සිටි ත්‍රිරෝද රථයක් අගුරුවාතොට මදුරාවල පාසල අසලදි ලොරි රථයක ගැටීමෙන් වයස අවුරුදු එක හමාරක හා මාස හතරක කුඩා සිගිති දරුවන් දෙදෙනෙකු එම ස්ථානයේදිම මිය ගිය අතර 27 හැවිරිදි එක් දරු මවක්ද රෝහල් ගත කිරිමෙන් පසු මියගියේය.අනතුරින් තවත් හතර දෙනෙකු බරපතළ තුවාල ලැබිය.අනතුරින් මියගිය පිරිස පිළියන්දල සුවාරපොල හා උතුරු මාම්පේ පදිංචි කරුවන්ය.
අනතුරක් සිදු විමට ගත වෙන්නේ නිමේෂයක් තරම් කාලයක් පමණි.ඊට පක්ෂ පාට බේද හෝ ජාති කුළ මළ ආගම් බේදද නැත.අධික වේගයෙන් රිය ධාවනය කිරිම හේතුවෙන් පසුගිය 12 වන දින කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රි  සනත් නිශාන්ත මහතා හා බිරිද ගමන් ගත් වාහනය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදි ප්‍රතිවිරුද්ධ දෙසින් ආ මෝටර් රථයක ගැටිමෙන් පෙරළී ගියේය.අනතුර සිදු වුයේ කුරුණෑගල වාරියපොල මාර්ගයේ යන්තම්පලාව ප්‍රදේශයේදීය.අනතුරින් මන්ත්‍රිවරයා,ඔහුගේ බිරිද ඇතුළු තවත් 09 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බවයි කුරුණෑගල පොලිසිය වාර්තා කලේ.
පසුගිය 10 වෙනි දින රාත්‍රියේද නුවරඑළියේ සිට හැටන් හරහා අළුත්ගම දක්වා එළවලු ප්‍රවාහනය කරමින් සිටි ලොරි රථයක් නානුඔය මාර්ගයේදී අඩි 70ක්  ප්‍රපාතයට පෙරළී යාමෙන් රියදුරු හා රිය සහායක බරපතළ තුවාල ලබා ලොරි රථයද කුඩුපට්ටම් වි ගියේය. එවැනිම තවත් බරපතළ අනතුරක් පසුගිය දින සිදු වුයේ බණ්ඩාරවෙල හපුතලේ පාරේ කහවෙල ප්‍රදේශයේදිය.මවත් සහ දරු දෙදෙනෙක් ගමන් ගත් මෝටර් රථයක් අනතුරට පත් වු අතර අනතුරින් අවුරුදු නිවාඩුවට ගෙදර එමින් සිටි හෙද සිසුවියක වු දියණිය එම ස්ථානයේදීම මියගිය අතර මව සහ මෝටර් රථය පදවාගෙන ගිය පුතාද බරපතළ තුවාල ලැබීය.
පසුගිය 18 දිනද එවැනිම මාරක රිය අනතුරක් වාර්තා වුයේ මන්නාරම තල්ලාඩි ප්‍රදේශයෙනි.රිය අනතුරින් ලංකා පෙන්ත කොස්ත සභාවේ මන්නාරම දිසාව භාර 58 හැවිරිදි දාවිදු රාජා නැමති පුජක වරයා එම ස්ථානයේදිම මරුමුවට පත් වු අතර වෑන් රථයේ ගමන් ගත් තවත් 09 දෙනෙකු බරපතළ තුවාල ලැබීය.
අලුත් අවුරුදු සමයේ අනතුරු අවම කර ගැනීම වෙනුවෙන් බිමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමක් අම්පාර උහන මාර්ගයේදීද සිදු කල අතර පැය දෙකක් තරම් කාලයක් තුල බිමත් රියදුරන් 08 දෙනෙකු අත්අඩංගුවට ගත් බව මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසිය.එහිදී අත්අඩංගුවට පත් රියදුරන් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර රියදුරු බලපත්‍ර ඉදිරිපත් කල රියදුරන් 06 කු සදහා රුපියල් 36000 ක දඩයක්ද නියම කර ඇති අතර මාස 06ක කාලයක් සදහා රියදුරු බලපත්‍රද අත්හිටවු බවයි පැවසුවේ.
මෙවැනි අනතුරු රැසක් අවුරුදු සමයේ රට පුරා සිදු වුයේ රියදුරන්ගේ නොසැලකිල්ල නිසාවෙන් බව නම් පැහැදිළිය.වාහන වාහන අතර සිදුවෙන අනතුරු වලට අමතරව ජංගම මුරසංචාරයේ යෙදුණු පොලිස් කොස්තාපල් වරයෙකු පසුගිය 16 වෙනි දින යතුරු පැදිකරැවෙකු යට කරගෙන ගිය පුවතක්ද  වාර්තා වුයේ රන්න නගරයෙනි.අනතුරින් යතුරු පැදි කරුද තුවාල ලැබු අතර පොලිස් කොස්තාපල් වරයාද බරපතළ තුවාල ලැබිය.
“ඉක්මන් කොටයි,වේගය මරු කරදවයි“ මේ  සිංහල ජන වහරේ එන රත්තරංන් වටිනා කියමන්ය.බොහෝ පිරිසක් මේ වදන් වාහන වල පොල්ගෙඩි අකුරින් සටහන් කරගෙන සිටියත් ඒවා හුදෙක්ම ලස්සනට පමණක් යොදාගත් වචන බව තහවුරු වන්නේ වාහවයක් අරන් පාරට බැස්ස විට හැටට හැටේ පාගන පෑගිල්ලටය.ඒ පෑගිල්ල කොතරම්ද යන්න නම් අන්තිමට එය කෙලවර වන්නේ සදහටම ජීවන ගමනෙන් සමුගෙන සේම තවත් පිරිසක් රෝහල්වල ඇදන් මතට යවා සහ සදා කල් අබ්බඝාතයන් බවට පත් කරමිණි.මෙනිසා දිනෙන් දින සිදුවෙන රිය අනතුරු නිසා රටට අහිමි වන මිනිස් ජිවිත ගණන වැඩිවෙමින් පැවතීම නම් රටකට කිසිසේත්ම සුභදායක නොවනු ඇත.






Sunday, September 25, 2016


හම්බන්තොට වන අලි කරදර උග්‍ර වුනේ ඇයි.වන ජිවි නිළධාරියෙකුගේ හෙළිදරව්වක්.


(සටහන හා සේයා රූ - සුරියවැව නුවන් ජයසේකර)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රෙද්ශයේ රැසකටම මේ වන විට වන අලි කරදර උග්‍ර අතට හැරි තිබේ. දිගින් දිගටම වනඅලි තර්ජන ඉහළයාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දිස්ත්‍රික්කය තුල සිදුවන මහා පරිමාන කැලෑ හෙළිකිරීම බවයි වනජීවී නිලධාරින් පවසන්නේ.
ගෙවුණු සති කිහිපයක කාලය තුල හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැලිආර ,බඳගිරිය ,සමරකෝන් වැව ,කටුවැව ,කුඩාවැල් පොකුණ ,තම්මැන්නාව  ,උත්පල ,වල්සපුගල ,අන්දරවැව ,ජූල්වැව ,ගොන්නොරුව, කුඩාඉදිවැව, බෝගහඉදිවැව,14 කණුව,වැලිවැව,නමඩගස්වැව,කෝංකැටිආර,මදුනාගල ආදී ප්‍රදේශයන්ට එල්ලවන වල් අලි තර්ජන සීඝ්‍රයෙන් ඉහල ගොස් තිබිණි.සතියක පමණ කාලයක තුලදී වල් අලි පහරදීම නිසා ජීවිත හානි තුනක් ,බරපතල තුවාල ලැබීම් 08ක් හා දේපල හා වගා හානි විශාල ප්‍රමාණයකුත් සිදුවි තිබේ.
වල් අලි ගම්වැදී දේපල හා වගා හානි සිදුකල අවස්ථාවන්හිදී වන අලි පලවා හැරීමට එම ප්‍රදේශවලට යන වනජීවී නිලධාරීන්ට බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන්නේ  ගම් වැසියන්ගේ දැඩි විරෝධතාවයන්ටය. වන අලි එළවිමට ගම් වලට යන වනජීවී නිළධාරීන්ට ගම් වාසීන් චෝදනා කරන්නේ අලි ගම්වැදී දේපල හා වගා හානි සිදුකරන තෙක් වනජීවී නිලධාරීන් එම සතුන් පලවා හැරීමට ක්ෂණිකව ක්‍රියාත්මක වී කටයුතු නොකරන බවටය.තවද ප්‍රදේශවාසීන් නිලධාරීන්ට චෝදනා කරන්නේ වල් අලි තර්ජන නොතිබූ ප්‍රදේශ වලට අලි තර්ජන ඇතිවන ලෙස එම ප්‍රදේශවලට වල් අලි එලවීමද වනජීවී නිලධාරීන් විසින්ම සිදු කරන ලද්දක් බවටද ජනතාව චෝදනා නගති.
කෙසේවෙතත් මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාවටම මෙම වන අලි තර්ජනය විශාල ලෙස පැතිරී ගොස් තිබේ.ප්‍රදේශවාසීන් විසින් වනජීවී නිලධාරීන් හට එල්ල කරන මෙම චෝදනාවන් පිළිබඳව අප හම්බන්තොට දිස්ත්‍රික්කයේ  වනජීවී කාර්යාල වල  නිලධාරීන් පිරිසකගෙන් කල විමසීමකදී ඔවුහු මෙලෙස පැවසූහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයට විශාල වශයෙන් මේ වෙනකොට වල් අලි තර්ජන එල්ලවෙලා තියෙනවා.ඒක අපිත් පිලිගන්නවා.එත් අපි නිසා අලි තර්ජනය වැඩි උනා කියන එක පිළිගන්න බෑ.මේ හැමදේකටම මුල් වෙලා තියෙන්නේ අක්‍රමවත් සංවර්ධනය මුල් කරගෙන මේ දිස්ත්‍රික්කයේ කරන මේ මහා කැලෑ විනාශය.වල් අලින්ට ඉන්න තියෙනා භූමියෙන් භාගයක්ම පවතින හා පැවතී ආණ්ඩුවලින් සංවර්ධන ව්‍යාපෘති වලට විනාශ කළා.ඉතුරු ටික මිනිස්සු අල්ලාගෙන හේන් ගොවිතැන් කරනවා.අද උන්ට ඉන්න තැනක් නෑ.කන්න බොන්න නෑ.ටිකක් හිතන්න අපේ මිනිස්සු තමන්ගේ ඉඩම වෙන්වෙලා තියෙන වැට අගලක් හෝ එහාට මෙහාට කරලා ගැහුවොත් මොකද වෙන්නේ. සහෝදර සහෝදරියෝ නම් සහෝදරකමුත් නැතිකරගෙන මිනී මරාගන්නවා නැති නම් පොලීසි ගානේ යනවා.ඒ තමන්ගේ අයිතිය වෙනුවෙන්.ඉතින් මේ තිරිසන් සතුන් උන්ගේ වාසභූමි සම්පූර්ණයෙන්ම  අහිමි උනාම මේ විදියට හැසිරීම අමුතු දෙයක් නෙමෙයි.
දැන් සූරියවැව ඉදලා කතරගම දක්වා හැදෙන හයිවේ එකට මහා විශාල ප්‍රමාණයක් කැලෑව හෙළි පෙහෙළි කරලා .මේ සතුන්ට ඉතිරිවෙලා තිබුනේ ඔය ටික විතරයි.අනිත් ටිකත් මිනිස්සු අල්ලාගෙන වැටවල් ගහගෙන සමහරුන්ට මහා කැලෑවටත් සින්නක්කර ඔප්පු තියෙනවා.අපි දන්නේ නෑ කවද කොහොම ගත්ත ඉඩම්ද කියලා.මොකද මේ හැම දෙකින්ම වනජීවී නිලධාරියාත් මේ අසරණ සත්තුත් තමයි අසරණ වෙලා තියෙන්නේ.අලි ගම වැදුනම අපිට චෝදනා කරනවා අල්ලපු ගමටයි අපි අලි එලවන්නේ කියලා.අපි අලි කොහාටවත් එලවන්නේ නෑ ඒ ප්‍රදේශයෙන් පලවා හරින එක විතරයි කරන්නේ.මොකද මේ හම්බන්තොට අලින්ට වෙන් කරපු භූමියක් නෑ.
හම්බන්තොට තියෙනවා යෝජිත අලි කලානාකරන රක්ෂිතයක් නමුත් මේක මේ වෙනතෙක් වනජීවී දෙපාර්තුමේන්තුවට පවරලා නෑ.ඉතින් මේකේ තමයි මේ හම්බන්තොට මිනිස්සු දර කපන්න යන්නේ හා මහා පරිමාණයෙන් ට්‍රැක්ටර් රථ යොදාගෙන දවසකට ට්‍රැක්ටර් 6 ,7ක්ම දර ගෙනියන්නේත්.තවත් කොටසක් රක්ෂිතයේ තියෙන ඇළ දොළ සුද්දකරලා අනවසරයෙන් වැලි ගොඩ දානවා. ඒ තම්මැන්නාව හා කඩවර යන ප්‍රදේශවල.තවත් පිරිසක් ඒක ඇතුලේ හරක් ගාල් දමලා තියෙනවා.මාළු අල්ලන්නේ ,දඩයම් කරන්න යන්නේ,හැමදේකටම යන්නේ මේ භූමියට .ඉතින් මේ භූමිය නමට තිබ්බට අපිට මේකට අලි එලවන්න බෑ.ඒ ගැන මේ කිසිම බලධාරියෙකුවත් හිතලවත් නෑ.එහෙම තිබුනා නම් සමහරවිට මේ අපි කරන දෙයට වැරදි කීම සාධාරණයි .එහෙම උනා නම් අපි අලි ඒ භූමියට එළවලා වට කරලා විදුලි වැටකින් ආවරණය කරන්න තිබ්බා.
අද මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ හැමදේම ඔවුන්මයි කරන්නේ .පස්සේ ඒවායේ අයහපත් ප්‍රතිපල ලැබෙනකොට වෙනත් පාර්ශ්වයකට චෝදනා කරනවා.වනජීවී දෙපාර්තුමේන්තුවට මිනිස්සු වගේම සත්තුත් වටිනා වස්තුවක්. එය රැකගැනීම තමයි අපේ මූලිකම අරමුණ.
තවත් පිරිස් අපිට චෝදනා කරනවා අපි කාර්යක්ෂම නෑ කියල. අලි ගටම වැදුනම දැනුම් දුන්න ඉක්මනින් එන්නේ නෑ කියලා.අපි දන්නේ නෑ මේවා මිනිස්සුන්ට කොහොම තේරුම් කරන්නද කියලා.එත් මිනිස්සු දැනගන්න ඕන වනජීවී නිලධාරියා කියන්නෙත් ඒ අය වගේම මිනිස්සු කියලා.අලි අපිටත් ගහනවා.අපිත් මැරෙනවා.එත් එක පැත්තකට දමලා අලි එලවන්න ගියාම ඒ මිනිස්සු හැසිරෙන්නේ හරියට තිරිසන් සතුන්ටත් අන්ත විදියට .අපේ දරු පවුල් පවා මතක් කර කර ජරා විදියට අපිට බනිනවා.අපේ ජීවිතත් අවදානමේ දාගෙන මේ මිනිස්සු රැකගන්න අපි කරන රාජකාරිය කවදාවත් අගයන්න මිනිස්සු පුරුදුවෙලා නෑ.අහිංසක අපේ දරු පැටවූ පවා මේ නිසා බැනුම් අහනවා.මේ රාජකාරියෙන් බොහෝ නිලධාරීන් කලකිරිලයි මේ වෙනකොට ඉන්නේ.
අපේ රටේ මිනිස්සු හරි පුදුමයි.රාජකාරිය කරන මිනිස්සු හැමදාම බැනුම් අහනවා.ඒ පීඩාකාරී තත්වයට මිනිස්සු පත් කරපු මිනිස්සුන්ව මල්මාලා දාලා පිලිගන්නවා.නමුත් ඒ මිනිස්සු මේ ගැන නිකන්වත් හොයලා බලන්නේ නෑ.දැනට දවසකට අපේ කාර්යාලවලට අලි ගම වැදිලා කියලා දුරකටන ඇමතුම් 10ක් 20ක් විතර එනවා.නමුත් ඒ හැම තැනටම යන්න අපිට නිලධාරීන් නෑ.ඉන්න නිලධාරීන්ගේනුත් පළපුරුදු නිලධාරීන් ටික දෙනයි ඉන්නේ.පළපුරුද්ද නැතුව අලි එලවන්න බෑ.මිනිස්සු කෝලකර ගමන් යන්න තරම් ප්‍රවාහන ක්‍රමයක් අපිට නෑ.තියෙන්නේ වාහන එකක් දෙකක් විතරයි.නමුත් අපි අපේ ජීවිත ගැන නොහිතා මේ හැම ප්‍රදේශයකටම යනවා.ඒ යන්නේ දේපල විනාශ උනත් ජීවිත හරි රැකගන්න අරමුණින්.මේ හැමෝගෙම ජීවිත අපිට වටිනවා.ඉතින් වනජීවී නිලධාරියා දෝෂාරෝපණයට ලක්වීම අමුතු දෙයක් නෙමෙයි.
අපිට කියන්න තියෙන්නේ අපේ රටේ මිනිස්සු හැමදාම කුණු ගෙට අරගෙන හොද දේවල් එලියට දාන පිරිසක් .අපේ රටේ මේ තත්වය අමුතු දෙයක් නෙමෙයි.මිනිස්සු ආත්මාර්ථකාමී උනහම අනිත් මිනිස්සු ගැන පේන්නේ නෑ,ඇයි මේ නිලධාරීන්ට රාජකාරී කරන්න අපහසුවෙලා තියෙන්නේ කියලා හොයලා බැලුවනම් වනජීවී නිලධාරීන්ට අද මේ විදියට දොස් කියන පිරිස් හෙට හොද කියාවි. 
කුඩාඉදිවැව වැවේ දසුනක්