Sunday, September 25, 2016


හම්බන්තොට වන අලි කරදර උග්‍ර වුනේ ඇයි.වන ජිවි නිළධාරියෙකුගේ හෙළිදරව්වක්.


(සටහන හා සේයා රූ - සුරියවැව නුවන් ජයසේකර)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රෙද්ශයේ රැසකටම මේ වන විට වන අලි කරදර උග්‍ර අතට හැරි තිබේ. දිගින් දිගටම වනඅලි තර්ජන ඉහළයාමට ප්‍රධාන හේතුව වී ඇත්තේ දිස්ත්‍රික්කය තුල සිදුවන මහා පරිමාන කැලෑ හෙළිකිරීම බවයි වනජීවී නිලධාරින් පවසන්නේ.
ගෙවුණු සති කිහිපයක කාලය තුල හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැලිආර ,බඳගිරිය ,සමරකෝන් වැව ,කටුවැව ,කුඩාවැල් පොකුණ ,තම්මැන්නාව  ,උත්පල ,වල්සපුගල ,අන්දරවැව ,ජූල්වැව ,ගොන්නොරුව, කුඩාඉදිවැව, බෝගහඉදිවැව,14 කණුව,වැලිවැව,නමඩගස්වැව,කෝංකැටිආර,මදුනාගල ආදී ප්‍රදේශයන්ට එල්ලවන වල් අලි තර්ජන සීඝ්‍රයෙන් ඉහල ගොස් තිබිණි.සතියක පමණ කාලයක තුලදී වල් අලි පහරදීම නිසා ජීවිත හානි තුනක් ,බරපතල තුවාල ලැබීම් 08ක් හා දේපල හා වගා හානි විශාල ප්‍රමාණයකුත් සිදුවි තිබේ.
වල් අලි ගම්වැදී දේපල හා වගා හානි සිදුකල අවස්ථාවන්හිදී වන අලි පලවා හැරීමට එම ප්‍රදේශවලට යන වනජීවී නිලධාරීන්ට බොහෝ විට මුහුණ දෙන්නට සිදුවන්නේ  ගම් වැසියන්ගේ දැඩි විරෝධතාවයන්ටය. වන අලි එළවිමට ගම් වලට යන වනජීවී නිළධාරීන්ට ගම් වාසීන් චෝදනා කරන්නේ අලි ගම්වැදී දේපල හා වගා හානි සිදුකරන තෙක් වනජීවී නිලධාරීන් එම සතුන් පලවා හැරීමට ක්ෂණිකව ක්‍රියාත්මක වී කටයුතු නොකරන බවටය.තවද ප්‍රදේශවාසීන් නිලධාරීන්ට චෝදනා කරන්නේ වල් අලි තර්ජන නොතිබූ ප්‍රදේශ වලට අලි තර්ජන ඇතිවන ලෙස එම ප්‍රදේශවලට වල් අලි එලවීමද වනජීවී නිලධාරීන් විසින්ම සිදු කරන ලද්දක් බවටද ජනතාව චෝදනා නගති.
කෙසේවෙතත් මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කය පුරාවටම මෙම වන අලි තර්ජනය විශාල ලෙස පැතිරී ගොස් තිබේ.ප්‍රදේශවාසීන් විසින් වනජීවී නිලධාරීන් හට එල්ල කරන මෙම චෝදනාවන් පිළිබඳව අප හම්බන්තොට දිස්ත්‍රික්කයේ  වනජීවී කාර්යාල වල  නිලධාරීන් පිරිසකගෙන් කල විමසීමකදී ඔවුහු මෙලෙස පැවසූහ.
හම්බන්තොට දිස්ත්‍රික්කයට විශාල වශයෙන් මේ වෙනකොට වල් අලි තර්ජන එල්ලවෙලා තියෙනවා.ඒක අපිත් පිලිගන්නවා.එත් අපි නිසා අලි තර්ජනය වැඩි උනා කියන එක පිළිගන්න බෑ.මේ හැමදේකටම මුල් වෙලා තියෙන්නේ අක්‍රමවත් සංවර්ධනය මුල් කරගෙන මේ දිස්ත්‍රික්කයේ කරන මේ මහා කැලෑ විනාශය.වල් අලින්ට ඉන්න තියෙනා භූමියෙන් භාගයක්ම පවතින හා පැවතී ආණ්ඩුවලින් සංවර්ධන ව්‍යාපෘති වලට විනාශ කළා.ඉතුරු ටික මිනිස්සු අල්ලාගෙන හේන් ගොවිතැන් කරනවා.අද උන්ට ඉන්න තැනක් නෑ.කන්න බොන්න නෑ.ටිකක් හිතන්න අපේ මිනිස්සු තමන්ගේ ඉඩම වෙන්වෙලා තියෙන වැට අගලක් හෝ එහාට මෙහාට කරලා ගැහුවොත් මොකද වෙන්නේ. සහෝදර සහෝදරියෝ නම් සහෝදරකමුත් නැතිකරගෙන මිනී මරාගන්නවා නැති නම් පොලීසි ගානේ යනවා.ඒ තමන්ගේ අයිතිය වෙනුවෙන්.ඉතින් මේ තිරිසන් සතුන් උන්ගේ වාසභූමි සම්පූර්ණයෙන්ම  අහිමි උනාම මේ විදියට හැසිරීම අමුතු දෙයක් නෙමෙයි.
දැන් සූරියවැව ඉදලා කතරගම දක්වා හැදෙන හයිවේ එකට මහා විශාල ප්‍රමාණයක් කැලෑව හෙළි පෙහෙළි කරලා .මේ සතුන්ට ඉතිරිවෙලා තිබුනේ ඔය ටික විතරයි.අනිත් ටිකත් මිනිස්සු අල්ලාගෙන වැටවල් ගහගෙන සමහරුන්ට මහා කැලෑවටත් සින්නක්කර ඔප්පු තියෙනවා.අපි දන්නේ නෑ කවද කොහොම ගත්ත ඉඩම්ද කියලා.මොකද මේ හැම දෙකින්ම වනජීවී නිලධාරියාත් මේ අසරණ සත්තුත් තමයි අසරණ වෙලා තියෙන්නේ.අලි ගම වැදුනම අපිට චෝදනා කරනවා අල්ලපු ගමටයි අපි අලි එලවන්නේ කියලා.අපි අලි කොහාටවත් එලවන්නේ නෑ ඒ ප්‍රදේශයෙන් පලවා හරින එක විතරයි කරන්නේ.මොකද මේ හම්බන්තොට අලින්ට වෙන් කරපු භූමියක් නෑ.
හම්බන්තොට තියෙනවා යෝජිත අලි කලානාකරන රක්ෂිතයක් නමුත් මේක මේ වෙනතෙක් වනජීවී දෙපාර්තුමේන්තුවට පවරලා නෑ.ඉතින් මේකේ තමයි මේ හම්බන්තොට මිනිස්සු දර කපන්න යන්නේ හා මහා පරිමාණයෙන් ට්‍රැක්ටර් රථ යොදාගෙන දවසකට ට්‍රැක්ටර් 6 ,7ක්ම දර ගෙනියන්නේත්.තවත් කොටසක් රක්ෂිතයේ තියෙන ඇළ දොළ සුද්දකරලා අනවසරයෙන් වැලි ගොඩ දානවා. ඒ තම්මැන්නාව හා කඩවර යන ප්‍රදේශවල.තවත් පිරිසක් ඒක ඇතුලේ හරක් ගාල් දමලා තියෙනවා.මාළු අල්ලන්නේ ,දඩයම් කරන්න යන්නේ,හැමදේකටම යන්නේ මේ භූමියට .ඉතින් මේ භූමිය නමට තිබ්බට අපිට මේකට අලි එලවන්න බෑ.ඒ ගැන මේ කිසිම බලධාරියෙකුවත් හිතලවත් නෑ.එහෙම තිබුනා නම් සමහරවිට මේ අපි කරන දෙයට වැරදි කීම සාධාරණයි .එහෙම උනා නම් අපි අලි ඒ භූමියට එළවලා වට කරලා විදුලි වැටකින් ආවරණය කරන්න තිබ්බා.
අද මිනිස්සු තමන් ගැන විතරයි හිතන්නේ හැමදේම ඔවුන්මයි කරන්නේ .පස්සේ ඒවායේ අයහපත් ප්‍රතිපල ලැබෙනකොට වෙනත් පාර්ශ්වයකට චෝදනා කරනවා.වනජීවී දෙපාර්තුමේන්තුවට මිනිස්සු වගේම සත්තුත් වටිනා වස්තුවක්. එය රැකගැනීම තමයි අපේ මූලිකම අරමුණ.
තවත් පිරිස් අපිට චෝදනා කරනවා අපි කාර්යක්ෂම නෑ කියල. අලි ගටම වැදුනම දැනුම් දුන්න ඉක්මනින් එන්නේ නෑ කියලා.අපි දන්නේ නෑ මේවා මිනිස්සුන්ට කොහොම තේරුම් කරන්නද කියලා.එත් මිනිස්සු දැනගන්න ඕන වනජීවී නිලධාරියා කියන්නෙත් ඒ අය වගේම මිනිස්සු කියලා.අලි අපිටත් ගහනවා.අපිත් මැරෙනවා.එත් එක පැත්තකට දමලා අලි එලවන්න ගියාම ඒ මිනිස්සු හැසිරෙන්නේ හරියට තිරිසන් සතුන්ටත් අන්ත විදියට .අපේ දරු පවුල් පවා මතක් කර කර ජරා විදියට අපිට බනිනවා.අපේ ජීවිතත් අවදානමේ දාගෙන මේ මිනිස්සු රැකගන්න අපි කරන රාජකාරිය කවදාවත් අගයන්න මිනිස්සු පුරුදුවෙලා නෑ.අහිංසක අපේ දරු පැටවූ පවා මේ නිසා බැනුම් අහනවා.මේ රාජකාරියෙන් බොහෝ නිලධාරීන් කලකිරිලයි මේ වෙනකොට ඉන්නේ.
අපේ රටේ මිනිස්සු හරි පුදුමයි.රාජකාරිය කරන මිනිස්සු හැමදාම බැනුම් අහනවා.ඒ පීඩාකාරී තත්වයට මිනිස්සු පත් කරපු මිනිස්සුන්ව මල්මාලා දාලා පිලිගන්නවා.නමුත් ඒ මිනිස්සු මේ ගැන නිකන්වත් හොයලා බලන්නේ නෑ.දැනට දවසකට අපේ කාර්යාලවලට අලි ගම වැදිලා කියලා දුරකටන ඇමතුම් 10ක් 20ක් විතර එනවා.නමුත් ඒ හැම තැනටම යන්න අපිට නිලධාරීන් නෑ.ඉන්න නිලධාරීන්ගේනුත් පළපුරුදු නිලධාරීන් ටික දෙනයි ඉන්නේ.පළපුරුද්ද නැතුව අලි එලවන්න බෑ.මිනිස්සු කෝලකර ගමන් යන්න තරම් ප්‍රවාහන ක්‍රමයක් අපිට නෑ.තියෙන්නේ වාහන එකක් දෙකක් විතරයි.නමුත් අපි අපේ ජීවිත ගැන නොහිතා මේ හැම ප්‍රදේශයකටම යනවා.ඒ යන්නේ දේපල විනාශ උනත් ජීවිත හරි රැකගන්න අරමුණින්.මේ හැමෝගෙම ජීවිත අපිට වටිනවා.ඉතින් වනජීවී නිලධාරියා දෝෂාරෝපණයට ලක්වීම අමුතු දෙයක් නෙමෙයි.
අපිට කියන්න තියෙන්නේ අපේ රටේ මිනිස්සු හැමදාම කුණු ගෙට අරගෙන හොද දේවල් එලියට දාන පිරිසක් .අපේ රටේ මේ තත්වය අමුතු දෙයක් නෙමෙයි.මිනිස්සු ආත්මාර්ථකාමී උනහම අනිත් මිනිස්සු ගැන පේන්නේ නෑ,ඇයි මේ නිලධාරීන්ට රාජකාරී කරන්න අපහසුවෙලා තියෙන්නේ කියලා හොයලා බැලුවනම් වනජීවී නිලධාරීන්ට අද මේ විදියට දොස් කියන පිරිස් හෙට හොද කියාවි. 
කුඩාඉදිවැව වැවේ දසුනක්

No comments:

Post a Comment