Friday, December 2, 2016

සුරියවැව නුවන් ජයසේකර

2016.12.02
සුරියවැව නුවන් ජයසේකර


අහස  උසට මාලිගා හැදෙන යුගයේ තවමත්
සංවර්ධයක් පේනතෙක් මානයකවත් නැති  මඩුගොල්ල ගම්මානය.

 (සුරියවැව නුවන් ජයසේකර)

      වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා බඩල් කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකට මායිම්ව  පිහිටි ඉතා දුෂ්කර  ගම්මානයක් වන මඩුගොල්ල ගම්මානයට  ඉකුත්දා අප ගියේ එහි සැබෑ තතු විත්ති ඔබට කියන්නටය.
      රන්දෙණිය හිගුරුකඩුව මාර්ගයේ කිලෝ මීටර් දෙක හමාරක් පමණ ගොස් බලේවෙල නම් ස්ථානයෙන් වමට හැරී එතැන් සිට පා ගමනින් කිලෝමීටර් තුන හමාරක පමණ දුරක් ඉතා දුෂ්කර මාර්ගයක  ගිය විට   අතිශය සුන්දර එහෙත් පොදු පහසුකම් හමුවේ හඩා වැටෙමින් ජීවිතය ගෙවන අහින්සක මිනිසුන් ජිවත් වෙන මඩුගොල්ල ගම්මානය හමුවෙයි.බලේවෙල හන්දියේ සිට කදු හෙල්,වන දුර්ග පසු කරමින් පැය හතරක පමණ පා ගමණකින් පසු මඩුගොල්ල ගමට යාමට අපට හැකි විය. ගමේ පවුල් 80ක් පමණ ජීවත්වෙන අතර මේ අහින්සක මිනිස්සුන්ට ගමට යාමට පාරක්,ගමණාගමන පහසුකමක් මෙන්ම තැපැල් පහසු කම්ද මේ වන තෙක් කිසිදු රජයකින් ලබාදි නැත.
       ගම්මානයට ප්‍රවේශ වීමට මාර්ගයක් තිබුණත් එය විධිමත්ව සකස් කර නොතිබීමෙන් කිසිදු වාහනයකට තියා පයින්වත් ඒ මාර්ගයේ ගමන් කල නොහැකිය. මේ  හේතුවෙන් තවමත් ඒ ගම්මානයේ ප්‍රවාහන කටයුතු සිදු කෙරෙන්නේ තවලම් පිටයි.මේ වන විට ගම්මානයේ තවලම් 25ක් පමණ ඇත.එක වරකට තවලම් පිට බඩු ගෙනයාමට රුපියල් 150ක මුදලක් අය කරන අතර වරකට රැගෙන යන්නේ කිලෝ 45ක  හො 50ක බර ප්‍රමාණයක් පමණි.තවලම් පිටද බඩු ප්‍රවාහනය කිරීමට වත්කමක් නැති සමහර මිනිසුන් තම කර මතින්ම නිවෙස් කරා මේ දුෂ්කර මාර්ගය ඔස්සේ බඩු බාහිරාදිය  රැගෙන එයි.එහි ගිය අපට දැණුන කාරණය නම් මෙතරම් සංවර්ධන කටයුතු සිදුකෙරෙන ,අහස උසට මාලිගා තැනෙන යුගයක මේ අහිංසක මිනිසුන්ගේ ජීවන තත්වය නගා සිටුවීමට වගකිවයුතු කිසිවකුත් කටයුතු කර නැති බවයි.
      ගමට පහසුකම් ලබා දෙන බව පවසමින් විවිධ දේශපාලඥයින්ගේ බොරු පොරොන්දු වලට රැවටුන මොවුන් අදටත් ගෙවන්නේ දුක්ඛිත ජිවිතයක්ය.
නිරන්තරයෙන් අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්ණ සැහැල්ලුවට ගනිමින් කටයුතු කරණ දේශපාලඥයින් රොත්තක්ම පසුගියදා පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මේ ගමට පැමින පොරොන්දු රැසක් දි ඔවුන්ගේ මුහුණත් තහඩු ගස් ගල් වල අලවා තිබෙන අයුරු එහි ගිය අපට අදටද දක්නට ලැබුණි.මැතිවරණ කාලයකට හැරෙන්න මැති ඇමතිවරු කිසිවකුත් මේ ගම්මානයට නොපැමිණෙන බවයි ගම්වැසියන් පවසන්නේ. තැපැල් පහසුකමක් නොමැතිව අසරණ වී ඇති මේ ගම්වැසියන්ට කලට වේලාවට ලිපි නොලැබීමෙන් මහත් අසරණ තත්වයට පත්ව ඇත. මෙම ගම්මානයෙන් මුල් වරට විශ්ව විද්‍යාල ගිය තරුණයාටද ඔහුට පැමිණි රැකියාව අහිමි වූයේද ගමට තැපැල් කරුවෙකු හෝ තැපැල් සේවාවක් නොතිබුණ නිසාවෙනි.ඔහුට රැකියාවට යාමට සම්මුඛ පරීක්ෂණය සදහා පෙනි සිටින ලෙස දන්වා එවු ලිපිය ඔහු අතට පත්වෙන්නේ සම්මුඛ පරීක්ෂණයද  අවසන්වි දින ගණනක් ගෙවුණ පසුවය.
  ගමේ දරුවන් අකුරු කරන්නට  සියඹලාගුණේ කණිෂ්ඨ විද්‍යාලයට කිලෝමිටර් 4කට අධික දුරක් පා ගමනින් එන්නට සිදුවි තිබේ.පාගමනින් යාම ඒ හැටි දෙයක් නොවුනත් වන දුර්ග පසුකරමින් මේ දුෂ්කර මාර්ගයේ  ගමන් කිරිම දරුවන්ට මහත් අභියෝගයකි.පාසල් දරුවන් නිසි වෙලාවට පාසලට පැමිණිමට අළුයම පහට පමණ නිවසින් පිටත් විය යුතුය.එසේ පැමිණෙන දරුවන්ගේ ආරක්ෂාව පිළිබදවද අප අමුතුවෙන් කිවයුතු නොවේ.නගර බද ජීවත්වෙන ළමුන් විදින සැප සම්පත් හමුවේ මඩුගොල්ල දරුවන් සිටින තැන පුදුම තරම් දුක්ඛිතය.
     හරිහමන් පාරක් තොටක් නොමැති විම නිසා වියපත් වුවෝ බොහෝ දෙනෙක් රෝහල ක් කරා නොගොස් සිටින්නේ ගමන් දුෂ්කරතාවය හේතුවෙනි. යාමේ ඒමේ අපහසු තාවයත් ඒ සදහා වාහනයක් හෝ ගෙන්වාගැනීමට ඇති නොහැකියාවත් නිසාය.බොහොවිට ගමේ අයෙකු රෝගාතුරු වු විට මඩුගොල්ල ගමේ සිට කිලෝමීටර් තුන හමාරක පමණ දුරක් ගෙවා බලවින්න හංදියට ලෙඩා රැගෙන එන්නේ පුටුවක වාඩි කරවා කිහිපදෙනෙකු විසින් ඔසවාගෙනය. ඇතැම් අවස්ථාවල දැඩි අසීරැතා මැද පැමිණෙන නගරයේ ට්‍රැක්ටරයක්  මේ ගම ආසන්නයට පැමිණෙන අතර ඒ එක් ගමන් වාරයක් සදහා රැපියල් 3500ක අධික මුදලක් අයකරන බවත් ප්‍රදේශවාසීන් පවසති.
මේ ගමේ ජීවත්වෙන බොහෝ පිරිසකගේ ප්‍රධාන කර්මාන්තය කිතුල් මැදීමයි.කිතුල් පැණි නිශ්පාදනය හැරුණු විට කෙසෙල් ඇතුලු විවිධ භෝග වර්ග වගාකරයි.එසේ විවිධ වගාවන් සිදු කලත් නිසි කලට වෙලාවට ඒවා පොළට ගෙනයාමට නොහැකි වීම නිසා මොවුන් දැඩි අපහසුතාවයකට පත්වෙයි.වරකට තවලම් පිට ගෙන යන්නේ කිතුල් පැණි බෝතල් 10ත් 15ත් අතර ප්‍රමාණයක් පමණි.ඊට හේතුව ලෙස ගැමියන් පවසන්නේ මාර්ග දුෂ්කරතාවය නිසා වැඩි බරක් යොදා ගෙනයා නොහැකි බවයි.
ගමේ කිහිපදෙනෙකුම අපත් සමග කතා බහට එක් විය.වයස අවුරුදු 81ක් වන ආර්.ඩී.සයිමන් මහතා අපත් සමග පැවසුවේ මෙවන් අදහසකි.
මට දැන් ඇවිදින්න කියන්න බෑ.මේ ගෙට වෙලා හදලා දෙන දෙයක් කාලා ඉන්නවා.අසනීප වුනාම බෙහෙත් ටිකක්වත් ගන්න යන්න විදියක් නෑ.අපිට මේ පාරවත් හදලා දුන්න නම් මොකක්හරි වාහනයක් ගෙන්නගෙන රෝහලකට යන්න තිබුණා.නමුත් මේ පාරේ නම් වාහනයක් තියා පයින්වත් යන්න බෑ.ලෙඩක් දුකක් වුණාම අහල පහල අය ඇවිත් පුටුවක තියලා වාඩි කරවගෙන උස්සගෙන යනවා.ගමේ දැන් තරුණ පිරිසත් ගොඩක් අඩුයි.ඒ අය කොළඔ රටට ගිහින් රස්සා හොයාගෙන මේ ගම් වලට එන්නේ නැහැ.අපිට යන්න එන්න වෙන තැනැක් නැහැ.දැන් කොහොමත් එකයි.මැරෙනකම් මේ වහල යටට වෙලා ඉන්නවා යැයි ඔහු පැවසුවේ අපේ නෙතටද කදුලක් එක් කරමිණි.

මඩුගොල්ල ගමේ පදිංචි ආර්.ඩී.ගුණපාල (43) මහතා අපත් සමග මෙසේ කීය.
කොස්,පොල්,දෙල්,පුවක්,කෙසෙල්,කොකෝවා මේ ගමේ අපිට හැම භෝගයක්ම තියෙනවා.නමුත් ගොඩක් භෝග ඒ ඒ ගස් යටම වැටිලා කුණු වෙලා යනවා විකුණ ගන්න පාරට ගෙනියන්න විදියක් නැතිව.යන්න පුලුවන් පාරක් නැතිව අද අපි අසරණ වෙලා ඉන්නේ.පාසලට ලමයෙක් එක්කයන්නේ පාන්දර පහට. හරියට පාරක් තිබුණ නම් මේ තරම් දුකක් නෑ අපිට.
ඉතා දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගිය අපට අතර මැද ස්ථානයකදි කැඩි වැටීගිය අම්බලමක් දැක ගත හැකිවිය.රජකාලේ ඉදලා සියඹලාගුණේ සිට නමුණුකුළ දක්වා  මේ වන දුර්ගය ඔස්සේ කිලෝමීටර් 22ක දුරක්  පිරිස ගමන් කර තිබෙන්නේ මේ ගම්මානය හරහාය.ඒ යන එන පිරිස් රාත්‍රියේ මේ අම්බලමේ නැවතී ගමන් තෙහෙට්ටුව නිවාගෙන ඇති බවයි ගැමියන් පැවසුවේ.මේ ගමට ඉස්සරවෙලාම පැමිණ ඇත්තේ පවුල් 07ක් පමණක් බවයි ගැමියන් පැවසුවේ.පසුව ටිකෙන් ටික මේ ප්‍රදේශය ගමක් බවට පත්වි තිබේ.විශේෂත්වය නම් අද වන විට මේ ගමේ සිටින කාන්තාවන් හා පිරිමින් සියළුම දෙනා ඥාතීන් වීමයි. විවාහයන් සිදුවි ඇත්තේ එකම පිරිස් අතරය.මේ නිසා ගමට ගිහින් නම අහන සෑම අයෙකුගේම වාසගම වන්නේ ආර්.ඩී. ය.මේ කෙසේ වෙතත් ගමේ ජීවත්වෙන මේ අහින්සක මින්සුන් හැබෑවටම සුන්දර අව්‍යාජ මිනිසුන් බව නම් කියවයුතුය.මේ ගමේ මිනිසුන්ගේ එකම ඉල්ලිම වන්නේ යාන වාහන සැප සම්පත් නොවේ.යන්න එන්න පුළුවන් මාර්ගයක් හා තැපැල් පහසු කම පමණි.වගකිවයුතු බළධාරීන්ට මෙය වත් ඉටුකිරීමට නොහැකිවිම පුදුමයට කරුණකි.






No comments:

Post a Comment