Friday, December 2, 2016

ආයුර්වේද  බෙහෙත් සදහා
දුර්ලභ ඖෂධ උයනක් හදන සෙවනගල







වෙදමහත්තයා.
(සටහන - සුරියවැව නුවන් ජයසේකර)
        පරිසරයේ සතා සිවුපාවන් හා ගහ කොළ පවා මිනිසුන්ගේ විවිධ  ක්‍රියාකාරකම් හමුවේ විනාශ වෙමින් යන යුගයක ගහට කොළට ආදරය කරන මිනිසුන්ද මේ අතර නැතුවා නොවේ.එවැනි අපූර්ව මිනිසකු පසුගියදා අපට මුනගැසුනේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් බළ ප්‍රදේශයට අයත් කිරිඉබ්බන්ආර ප්‍රදේශයෙනි.නමින් කමල් බන්ධුල වීරප්පෙරුම වුවත් බොහෝ පිරිසක් ඔහු හදුන්වන්නේ සෙවනගල වෙද මහතා යනුවෙනි.මොහු හොද දේශීය වෛද්‍ය වරයෙකි.සියල්ලම මුදලට විකිණෙන අවධියක තම හැකියාව මුදලට නොවිකුණමින් රටේ නන් දෙසින් ප්‍රථිකාර සදහා තමන් ලගට එන රෝගීන්ට වෙදකම් කරණ අපේ කාලේ ඍෂි වරයෙක් යැයි කීම නිවැරදිය.මන්ද මෙම වෙද මහතා රෝගීන් සදහා ප්‍රථිකාර කරන්නේ කිසිදු මුදලක් අපේක්ෂාවෙන් නොවීමයි.ප්‍රථිකාර සදහා පැමිණෙන රෝගීන්ට මුදල් තිබුනත් නැතත් රෝගීන්ට අවශ්‍ය ප්‍රථිකාර ලබා දෙන්නේ කාරුණික හදවතින් හා දැඩි උනන්දුවකින් බව එහි ගිය අපට පෙනුණි.
 අප වෙද මහතාගේ නිවසට යනවිටත් ඔහු සිටියේ රෝගීන් කිහිප දෙනෙකු පරික්ෂා කරමිණි. සිනා මුසු මුහුණින් අපව පිළිගත් වෙදමහතා අපව රැගෙන ගියේ ඔහුගේ ඖෂධ උයන වෙතයි.එහි ගිය අපටද ඇස් අදහා ගත නොහැකි වුයේ මෙතරම් පිළිවෙලකට පිරිසිදුව ඉතා ප්‍රසන්න මනස්කාන්ත අයුරින් ඖෂධ උයනක් පවත්වාගෙන යාමට කොතරම් කැපකිරීමක් කළ යුතුද යන්නයි.
මහත්තයෝ මේ ඖෂධ උයන මම දැන් අවුරුදු ගානක් තිස්සේ ඉදලා හදන්නේ.මුල් කාලයේ නම් විවිධ හොරුන්ගේ කරදරත් මට තිබුණා.දැන් එහෙම නෑ.මම මොන වැඩේ තිබුණත් උදේටයි හවසටයි මේ උයන වටේ ඇවිදලා බලනවා.ඒක මගේ දෛණික චර්යාවේ එක් අංගයක් බවට පත්වෙලා.මේ කොහෙවත් නැති ඉතා දුර්ලභ ඖෂධ මගේ මේ උයනේ තියෙනවා. අපද වෙද මහතා සමග අක්කරයක තරම් වූ භූමි භාගයක පැතිරී ඇති ඖෂධ උයන වටා ඇවිද ගියෙමු.එහිදී කුමුදු , මල් මදාරා , ගජ මදාරා , ගුරුල්ල , නවහන්දි ,මනෝරංජිද ,සැවැන්දරා , එළනෙටොල් , ලුණු වරණ ,ඔළිද , රණවරා ,බිංකොහොඹ , අනිත්ය , ඇතුළු බොහෝ දුර්ලභ ඖෂධ පැලෑටි රැසක් එහි දැක ගත හැකි විය. සමහර රෝගීන් මා ලගට එන්නේ අතේ සතයක් වත් නැතුව හරිම අමාරුවෙන්.ඒ එක එක තැන්වලට ප්‍රථිකාර වලට ගිහින් ලෙඩෙත් වැඩි කරගෙන අතේ තිබුණු මුදලුත් නැති කරගෙනයි.බොහෝ රෝගීන් අසරණ වෙන්නේ තමන්ට තියෙන රෝගයට අනුව නිසි ප්‍රථිකාර නොකිරීමත් හා නියම ප්‍රථිකාර කරණ නිවැරදි තැන් තෝරා නොගැනීමත් නිසා යැයි වෙද මහතා අපත් සමග පැවසිය.


No comments:

Post a Comment